තෙලිතුඩෙන් ලොවම වසඟයට ගත් මන්දමානසික දැරිය

ස්වභාවයෙන්ම සිතුවම්කරණයට ලැදි තෙහැවිරිදි අයිරිස් ග්‍රේස් හැල්ම්‍ෂෝ අතරැඳි පින්සලද සහිතව දියසායම් සිතුවම් නිර්මාණකරණයේ නියැළී සිටින්නේ සිය පූර්ණ අවධානයම ඒ කෙරෙහි යොමු කරමිනි. භාවාත්මක වූ ඇගේ චිත්‍රවල දැකිය හැකි ජලීය ෙශෙලය බොහෝදුරට නෑකම් කියන්නේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී මොනට්ගේ සිතුවම්වලට බව කීම අතිශයෝක්තියක් නොවේ. කලා ලෝකය තුළ දැනටමත් ඉමහත් පෙරළියක් සිදුකර ඇති මේ සිඟිත්තියගේ එක් චිත්‍රයක් පසුගිය දිනකදී අලෙවි වූයේ බ්‍රිතාන්‍ය පවුම් එක්දහස් පන්සියයක් වැනි සුපිරි මිලකටය. ඇගේම තනි පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පමණක් නොව චිත්‍ර වෙන්දේසියක්ද ඉදිරියේදී ලන්ඩනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතියි.

කවරක් වුවද තෙහැවිරිදි
අයිරිස්ගේ මෙම හැකියාවන් අධි අසාමාන්‍ය වනුයේ ඇගේ ළාබාල වයස නිසාම පමණක් නොව ඇය මන්දමානසික දරුවකු වීමද නිසාය. කතා කිරීමටද නොහැකි ඇය සම වයසේ සෙසු දරුවන්ගේ සමාගමයට මෙන්ම අවිනිශ්චිත වූ ලෝකයේ යථාර්ථය කෙරෙහිද දක්වනුයේ අසීමිත බියක් වුවද සිතුවම්කරණයට බට කෙණෙහිම ඇය වෙතින් දිස්වනුයේ ඉතා සාමකාමී සන්සුන් ස්වරූපයකි. තම කුළුඳුල් සේම එකම දියණියගේ අවාසනාවන්ත 12-2තත්ත්වය පිළිබඳ පළමුවරට දැනගත් මංගල ඡායාරූපකරණ ව්‍යාපාරයක හිමිකාරිනියක වන තිස්දෙහැවිරිදි ඇරබෙලා කාටර් ජොන්සන් හට මතු වූ පළමු ගැටලුව වූයේ සුළු දෙයකින් පවා බියපත්ව කලබලකාරී ලෙස හැසිරෙන අයිරිස් පී්‍රතිමත් කළ හැකි යම් ක්‍රියාකාරකමක් සොයා ගැනීමය.

 එහි එක් ප්‍රතිඵලයක් ලෙස වරෙක සිය දියණියව  ළමා උද්‍යානයකට ගෙන ගිය ඇරබෙලා හට අතිශය බියට පත්ව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අයිරිස් යළි යථා තත්ත්වයට ගෙන ඒම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබිණි. තමන්ගේම ලොවක ඇලී ගැලී හුදකලාව විසීමට ප්‍රියකරන අයිරිස් තමා සමග එක්ව සමූහ ක්‍රියාකාරකම්වල නියැළීම සඳහා ‍පොළඹවා ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කිරීමට ඇරබෙලාට සිදුව තිබිණි. චිත්‍ර ඇඳීමට ඇය යොමුවන ලද්දේ අනපේක්‍ෂිතව වුවද සිතුවම්කරණයට බට ඇය වෙතින් දිස් වූයේ එය ඇයට කිසිසේත් ආගන්තුක වූවක් නොව පෙර භවයක සිට පතාගෙන ආවක් වැනි හුරුපුරුදු වූවක් බවය.
මේසය මත තිරස්ව එලන ලද කඩදාසියක් මත සීරුවට සිය පළමු පින්සල්පහර එල්ල කරන ලද ඈට සම්පූර්ණ කොළයම රටානුකූලව දියසායමින් වර්ණ ගැන්වීමට ගතවන ලද්දේ කෙටි කාලයකි.

 ඇත්තෙන්ම කළ යුතු දෑ පිළිබඳව යම් සහජ ඥානයක් ඇය සතු වූවාක් බඳුය. පළපුරුදු චිත්‍ර ශිල්පියකුට උරුම වූ මනා අවබෝධයකින් හා සිය අරමුණ කෙරෙහි වූ අවධානයකින් යුතුව පින්සල් පහරක් එල්ල කරන ඈ සිය මීළඟ වර්ණ පදාසය ගැල්වීමට ප්‍රථම, මදක් වේලා විමසුම් සහගතව සිය චිත්‍රය දෙස බලා හිඳින්නේ මීළඟ පියවර කුමක් විය යුතුද යන්න සිතින් තර්ක කිරීමට උත්සාහ ගන්නාක් මෙන්‍ය. සිතුවම්කරණය සඳහා පින්සල් පමණක් නොව විවිධ මුද්‍රා, ස්‍පොඤ් කැබලි, ප්ලාස්ටික්, ගෑරැප්පු වැනි දෑද ඇය යොදා ගනුයේ මන්දමානසික යැයි පවසන දරුවකුට තරම් නොවන නිර්මාණශීලීත්වයකිනි. දෙමාපියන්ගේ මැදිහත්වීම නොවන්නට දිනකට අඛණ්ඩව පැය පහක් වුවද සිය චිත්‍රයේ ඇලී ගැලී සිටීමට කුඩා අයිරිස් 12-3මැලි නොවන්නීය.
කවරක් වුවද කිසිදු ක්‍රියාකාරකමක් සඳහා වුවද සිය දියණියට බලපෑම් නොකිරීමට ඇගේ දෙමාපියන් වන ඇරබෙලා හා පීටර් ජෝන් පරෙස්සම් වන්නෝය.

එනමුත් ඇගේ කුඩා මනසට එක්තරා ආකාරයක චිකිත්සක ප්‍රතිකාරයක් ලෙස ක්‍රියාකරන චිත්‍ර ඇඳීම අයිරිස් හට සතුට ගෙනෙන බවද එමගින් සිය දෙමාපියන් සතුටට පත්වන බව අයිරිස් දන්නා බවද, ඇරබෙලා පවසන්නීය. එසේම මන්දමානසික දරුවකු සතු බවට විශ්වාස කළ නොහැකි වූ ප්‍රතිභාවකින් යුතු සිය චිත්‍ර අන්‍යයන්ගේ ප්‍රශංසාවට ලක්වන බවද බිත්තියේ එල්වා ප්‍රදර්ශනය කිරීමට තරම් ඒවා වටිනාකමකින් යුතු බවද අයිරිස් දන්නා බවද ඇරබෙලාගේ විශ්වාසයයි.

සිය දියණිය විසින් අඳින ලද ප්‍රථම සිතුවම ඇරබෙලා විසින් නම් කරනු ලැබ ඇත්තේ “ඉවසීම” ලෙසයි. ඊට හේතුව නම් එම සිතුවම් සම්පූර්ණ කිරීම සඳහා කුඩා අයිරිස්ව උපායශීලීව ‍පොළඹවා ගැනීමට ඇරබෙලාට දැඩි ඉවසීමෙන් යුතුව දැරීමට සිදුව තිබූ උත්සාහයයි. අන්තර්ජාලයේ ෆේස්බුක් වබේ අඩවිය ඔස්සේ පළ කළ එකී සිතුවම මිලදී ගැනීමට ඉදිරිපත් වන ලද්දේ ඇරබෙලාගේ මංගල 12-4ඡායාරූප ව්‍යාපාරයේ පාරිභෝගිකයකු වන අතර එතැනින් ඇරඹුණු අයිරිස්ගේ සිතුවම් අලෙවිය මේ වනවිට ජාත්‍යන්තර මට්ටමින් සිදු කෙරෙන්නක් බවට පත්ව තිබිම ඇත්තෙන්ම අපූරු පුදුමයකි. ඉකුත් සිවුමසක කාලය තුළදී ඇය විසින් ඇඳි සිතුවම් ගණන තිස්පහක් වන අතර ඇගේ නමින් විවෘත කොට ඇති වබේ අඩවිය හරහා රටවල් එකසියතිහක ලක්‍ෂයකට අධික රසවතුන් පිරිසක් විසින් ඒවා නරඹා තිබේ. ඉවසීම නම් වූ ඇගේ පළමු නිර්මාණයේ මුද්‍රිත පිටපතක් අලෙවියෙන් ලද බ්‍රිතාන්‍ය පවුම් අටසිය තිහක මුදල විශේෂ අවශ්‍යතා සහිත අයිරිස් වැනි දරුවන්ට කායික චිකිත්සක ප්‍රතිකාර සපයන විශේෂ යෝගී අභ්‍යාස මධ්‍යස්ථානයකට පරිත්‍යාග කිරීමට තරම් අයිරිස්ගේ දෙමාපියන් කාරුණික වී තිබේ.


ලබන නොවැම්බර් මාසයේදී ඇගේ තනි පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක්ද ලන්ඩනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින අතර, එහිදී වෙන්දේසියෙන් ලැබෙන මුදල් සතියකට දෙවරක් අයිරිස් හට ලබාදීමට සිදුව ඇති මිල අධික චිකිත්සාවන් සඳහා යොදාගැනීමට ඇරබෙලා හා පීටර් ජෝන් බලා‍පොරොත්තු වන්නෝය. ඒ කවර වුවද එබඳු මූල්‍යමය ප්‍රතිලාභයක්ට වඩා ඔවුන්ට වැදගත් වන්නේ සිතුවම්කරණයට බට පසුව කුඩා අයිරිස් මානසික හා සාමාජයීය වශයෙන් ලබා ඇති ප්‍රගතියයි. එතෙක් කලක් වික්‍ෂිප්ත භාවයෙන් හා බියෙන් වෙලී තිබුණු සිය එකම දියණියගේ ජීවිතයට චිත්‍ර මගින් ගෙනා පී්‍රතිමත් වෙනස සියල්ලටම වඩා වටිනා බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ප්‍රියන්ති රුද්‍රිගු
lakbima

Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz