මම ගණන් ගන්නෙම නැති දෙයක් තමයි කටකතා කියන්නේ - Ruwangi Rathnayake

ඇය රුවන්ගි රත්නායක. ඉතාම කෙටි කාලයකින් රංගන ‍ක්ෂේත්‍රයේ බොහෝ දුරක් පැමිණීමට මේ වන විට ඇයට හැකියාව ලැබී ඇත. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය වල වැඩියෙන්ම දැකගත හැකි නිළිය රුවන්ගි යැයි කීම නිවැරදිය.අපි රුවන්ගි ගේ නවතම තොරතුරු විමසා බලමු.

මේ දවස්වල ඔබ රංගනයෙන් එක්වන ටෙලිනාට්‍ය ගැන කතා කළොත්?

මේ දිනවල ටෙලිනාට්‍ය දෙකක රූපගත කිරීම්වලට දායක වෙනවා. ඒ, ස්වර්ණවාහිනියේ ‘තරුමලී’ සහ දෙරණ නාළිකාවේ ‘සිහින සිත්තරාවි’ ටෙලිනාට්‍ය. මම රඟපෑ ‘අංගනා’ ටෙලිනාට්‍යය මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙනවා.

ඔබ රඟපෑ ටෙලිනාට්‍ය කීපයක්ම පසුගිය දිනවල විවිධ නාළිකාවල එකම වේලාවේ විකාශය වුණා නේද?

ඔව්. මීට මාස දෙක තුනකට පෙර රාත්‍රී 7.30ත් රාත්‍රී 9.00ත් අතර නාළිකා හතරක මගේ ටෙලිනාට්‍ය හතරක් විකාශය වුණා. ඒ; ‘මල්දෙවැට’, ‘සොඳුරු ගිම්හානය’, ‘සිටුමැදුර’, ‘සිහින සිත්තරාවි’ යන ටෙලිනාට්‍ය.


මේ දිනවල ඔබට වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ කුමන ‍‍ෙටලිනාට්‍යයේ රංගනයටද?

‘අංගනා’ ටෙලිනාට්‍යයේ අමායා චරිතයට තමයි මේ දිනවල මට බොහෝ ප්‍රතිචාර ලැබෙන්නේ.

ඔබ පසුගිය දිනවල පොලිස් නිලධාරිනියකගේ චරිතයක් රඟපෑවා නේද?

ඔව්. ඒ ‘සොඳුරු ගිම්හානය’ ටෙලිනාට්‍යයේ. ඒක මම කළ වෙනස්ම විදියේ චරිතයක්. මට ඒ චරිතය අලුත්ම අත්දැකීමක්. ඒ ටෙලිනාට්‍ය විකාශය වන දවස්වල මට හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ඒ රංගනයට ලැබුණා. ‘සොඳුරු ගිම්හානය’ දැන් විකාශය වන ටෙලිනාට්‍යවලට වඩා ගොඩක් වෙනස්.

කොහොමද පොලිස් නිලධාරිනියගේ චරිතයට ඔබ සූදානම් වුණේ?

‘සොඳුරු ගිම්හානය’ ප්‍රියන්ත කොළඹගේ ගේ අධ්‍යක්ෂණයක්. ඔහුගේ උපදෙස් ඒ චරිතය රඟපාන්න මට ගොඩක් උපකාරි වුණා. මෙහි සටන් ජවනිකාත් තිබුණා. ඒවාට කරාතේ පුහුණුකරුවකු යටතේ පුහුණු වුණා. මේ ටෙලිනාට්‍ය රූපගත කළේ බණ්ඩාරගම ප්‍රදේශයේ. එහිදී මොරොන්තුඩුව පොලීසියේ ස්ථානාධිපතිතුමා මගේ රංගනයට අවශ්‍ය බොහෝ දේවල් කියලා දුන්නා.

ඔබ මෙතෙක් රඟපා ඇති චරිතවල විවිධත්වයක් තියෙනව කියල ඔබ හිතනවද?

මගේ වාසනාවට මෙතෙක් මට රඟපෑමට ලැබුණු චරිත එකිනෙකට වෙනස්. පොලිස් නිලධාරිනියගේ චරිතය, තවමත් ඉගෙන ගන්නා දඟකාර යුවතියකගේ චරිතය, ජීවිතය ‍ෙගාඩනඟන්න දුක්විඳින දරුවන් දෙදෙනකුගේ මවකගේ චරිතය ව‍ෙග් විවිධ චරිත නිරූපණය කරන්න මට පසුගිය දවස්වල හැකිවුණා.

ඔබ රඟපාන ටෙලිනාට්‍ය හැම එකක්ම ඔබ නරඹනවාද?

හැම එකක්ම නරඹන්න නම් වේලාවක් නෑ. නමුත් හැකි හැම වෙලාවකම නරඹනවා.

පසුගිය රයිගම් සම්මාන උලෙළේ දී ජනප්‍රියම නිළියට හිමි සම්මානය නොලැබීම ගැන ඔබට දුකක් ඇතිවු‍ෙණ් නැතිද?

නැහැ. දුකක් නෑ. ඒ සම්මාන උලෙළේදීම මට නැඟී එන නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. ඒ මොකද, ක්ෂේත්‍රයේ නැඟී එන කාලයේ දී නැඟී එන නිළියට හිමි සම්මානය ලැබීම ගොඩක් වටින නිසා. හැබැයි ගොඩක් දෙනෙක් කිව්වා ජනප්‍රියම නිළියට හිමි සම්මානය මට ලැබෙයි කියලා.

සම්මානයක් ලැබීම රංගන ජීවිතයට කෙතරම් වැදගත්ද?

සම්මානයක් කියන්නෙ ඉතාම වටිනා දෙයක්; අපේ වැඩ අගය කිරීමක්. සම්මානයකින් අපේ වැඩ තවත් හොඳින් කරන්න උත්තේජනයක් ලැබෙනවා. තව තවත් මහන්සිවෙලා වැඩකරන්න අපිව උනන්දු කරවනවා. ඉලක්කයකට වැඩ කරන්න හිතෙනවා.

සිනමාව තුළ තවම ඔබට යමක් කරන්න අවස්ථාව ලැබුණේ නෑ නේද?

‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයට මම දායක වුණා. ළඟදීම රූපගත කිරිම් ආරම්භ වන චිත්‍රපට දෙකකටම මට ඇරයුම් ලැබී තියෙනවා. ඒවා තුළින් හොඳ යමක් කරන්න මට අවස්ථාව ලැබෙයි.

ඔබ දැන් රංගනයේ යෙදෙන්නේ වෘත්තිමය වශයෙන්ද?

ඔව්.
ජනප්‍රිය වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න ඔබට ආශාවක් තිබුණාද?

පුංචි කාලෙ මම ආශා කළේ ගුරු වෘත්තිය‍ට. ඒ වගේම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයටත් ආශා කළා. ඒ වගේම රූපවාහිනී නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නත් ආශාවක් මට තිබුණා. නිවේදිකාවක් විදියට අවුරුද්දකට වැඩි කාලයක් ස්වර්ණවාහිනී ආයතනයේ වැඩ කළා. රංගනයටත් මගේ හිතේ ආශාවක් තිබුණා. නමුත් ‍ෙම් වගේ තැනකට රංගනයෙන් එන්න ලැබෙයි කියල හිතුවේ නෑ. නමුත් මගේ පළමු ටෙලිනාට්‍යය වන ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු ‘බිනරි’ ටෙලිනාට්‍යයේ රංගනයෙන් ම හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න ලැබීම ගැන සතුටුයි.

ප්‍රේක්ෂකයින් දක්වන ආදරය හිතවත්කම ගැන ඔබට මොනවද හිතෙන්නේ?

මම හිතනව ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් අතර මම ජනප්‍රියයි කියලා. ඔවුන් දක්වන ආදරය ගැන ලොකු සතුටක් වගේම පුංචි ආඩම්බරයකුත් දැනෙනවා. මෙතෙක් මට කරන්න ලැබුණේ ප්‍රේක්ෂකයින් ආදරය කරන චරිත. මට මේ තරම් ප්‍රේක්ෂකයින් ආදරය කරන්න ඒකත් හේතුවක් වෙන්න පුළුවන්.

කලා ක්ෂේත්‍රය ගොඩක් කටකතා හැදෙන පැතිරෙන තැනක් නේද?

මම ගණන් ගන්නෙම නැති දෙයක් තමයි කටකතා කියන්නේ. කතා කරන්න ගොඩක් දේවල් තියෙද්දි මිනිස්සු කතා කරන වැදගත් කමක් නැතිම දේවල් තමයි ඔය කටකතා. ඒ නිසා කට කතා මගේ ජීවිතයට අදාළ වෙන්නේ නෑ.

ගාමිණී සුසන්ත


Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz