ගුරු සොයුරියගේ පාරමිතාව

ගුරු සොයුරියගේ පාරමිතාව

ඒ ගුරු පඩි දිනයයි.

මට මාසික වැටුප් චෙක් පත ලැබිණ.
චෙක්පත මට එදින විශේෂ සතුටක් ගෙන දුන්නේ ලොකු දූගේ අවශ්‍යතා කිහිපයක් ද ඒ මුදලින් පිරිමසා දීමට හැකි වෙති'යි සිතට සහනයක් ලැබුණු බැවිනි.
වහා බැංකුවට ගොස් චෙක්පත මුදල් බවට හරවා ගත් මගේ ඊළඟ අරමුණ වූයේ වහා දුම්රිය පොළට යාමය. එහෙයින් මම දුම්රිය පොළ වෙත පයින් නොගොසින් බසයක එල්ලුණෙමි.


බසයෙන් බැස දුම්රියපොළ වෙත යන මට අමුතු බඩගින්නක් දැනිණ. මම ඒ ගමන් ම කඩයකට ගොඩවීමි.

‘මට කිරි පැකට් එකක් දෙන්න!’
එසේ ඉල්ලමින් ම මා කරේ එල්ලෙන මගේ බෑගයේ සාක්කුවේ සිප් එක අරින්නට අත පෙව්වේ බසයෙන් ලැබුණු ඉතිරි මුදල ගනු පිණිස ය.
පුදුමයකි!
බෑග් සාක්කුවේ කට ඇරී තිබිණි.
එහි වූ මුදල් පසුම්බිය නැත.
මට හීන්දාඩිය දැම්මේ ය.

කිරිපැකට්ටුවට ගෙවීමටවත් මුදලක් නැත. බැංකුවෙන් ලැබුණු මුළු මුදල බැංකු පොත මැද ම තියෙද්දී හැඳුනුම්පත ද ඒ අතර තබා සියල්ල පර්ස් එක තුළ රුවා පර්ස් එක බෑග් සාක්කුවේ ලූ හැටි මට මතක් විය. බසයේ දී රුපියල් සියයක් ගෙන කොන්දොස්තරට දුන් හැටිත්, ඔහු ඉතිරි මුදල මවෙත පෑ හැටිත් ඒ සමඟ ම සිහිපත් විය.
බැංකුවේ සිට දුම්රිය පොළ දක්වා වූයේ බස් නැවතුම් තුනක් පමණි. බසෙයන් බසිද්දී ටිකක් කලබලයෙන් බැස්සා ද මතක ය.

කඩහිමියා කිරි පැකට්ටුව දිගු කරමින් සිටිනු මා දුටුවේ මෙවෙලේ ය.
‘මේ... මට පොඩි ප්‍රශ්නයක්. ඕක ඔහොම ආපහු තියන්න. මං එන්නං!’ කියමින් මම ආපසු හැරුණෙමි.
මා බස් නැවතුම දෙසට එන්නට වූයේ බිම පිරික්සමිනි.
මෙවිටම වාගේ වැස්සක් අද හැළෙන්නට වූයේ ය. වැස්සෙන් බේරෙන්නට මිනිස්සු ආවරණ යටට දුවන්නට වූහ. එහෙත් මා සිටියේ නිර්වින්දනය වූවා සේ ය.
මගේ හිතේ ප්‍රශ්න වැලක් තිබිණි. ලොකු දූගේ අවශ්‍යතා ඉටු කරන්නේ කෙසේ ද? ඊළඟ වැටුප අතට එනතුරු දරුවන්ගේ බඩගිනි නිවන්නේ කෙලෙස ද? ඉල්ලන්නේ කාගෙන් ද?
මගේ හිසට වැහි වැටුණ ද පිට දහඩියෙන් තෙමී ගියා මට මතකය. ඒ වැස්සේ පවා මම පිච්චී යමින් සිටියෙමි.

මා පාර අයිනේ අක්‍රීයව සිටියේ කළ යුත්තේ කුමක්දැයි හිතා ගත නොහැකිවය.
‘මොකද ඔය වැස්සෙ තෙමි තෙමි ඉන්නෙ? මූණත් බෙරි කරගෙන එන්න මේ කුඩේ යටට! මොකක් හරි කරදරයක් ද?’
මම ගැස්සී බැලීමි. මා ඉදිරියේ වූ කහ ඉර පැන මා වෙත එමින් සිටියේ පාසලේ ‍සහෝදර ගුරු මහත්මීන් දෙපළකි.

ඔවුන් කුඩ ඉහළා ගෙන තෙමි තෙමී ඉන්නා මදෙස බැලුවේ විමතියෙනි.
ආත්මානුකම්පාවට මගේ දෑස පෙඟුවේ ය. එහෙත් ඒ කඳුළු වැස්සේ ම දිය වී ගියේ ය.
‘හරි වැඩේනෙ වුණේ?’ මට කියැවිණ.
‘ඇයි මොකද?’ ඔවුන් ගේ ඇස් ලොකු විය.
ඒ එක්කම ඔවුහු මා ද වැස්සෙන් රැක ගන්නට කුඩ ඉහළට ඇල්ලූහ.
එහෙත් මම මොහොතකට ගොළුවීමි.
වැස්ස ද තුරල් විය.
‘ඔහොම ගොළුවෙලා ඉන්න එපා! වෙච්ච දේ කියන්නකො’ ඔවුහු බල කළහ.
මම ඇබැද්දිය කීමි.
ඔවුන්ගේ මුහුණු මැලවි යනු මට පෙනිණ.
නැති වූ දේ අතර තිබුණේ මුදල් පමණක් නොවේ. බැංකු පොත, හැඳුනුම් පත, දුම්රිය ෆෝල්ඩරය හා වාර ප්‍රවේශ පත්‍රය ආදිය ද විය.
‘බැංකු පොතේ තවත් සල්ලි තියෙනව ද?’ ඔවුහු ඇසූ හ.
‘ටිකක් තියනව’ මම කීමි.
‘එහෙනං දැම්ම ගිහිං ගිණුම අත්හිටුවන්න ඕනෑ. නැත්තං හොරා ඒකත් ගනීවි’
මම අතීරණාත්මකව බලා සිටියෙමි.
‘යං! යං! අපිත් එක්ක යං!’ දෙදෙනා ඉස්සර වූහ.
මා සිටියේ ගල් පිළිමයක් සේ ය.
‘එන්ඩ! දැං හිත හිත ඉඳල හරියන්නෙ නෑ. කළ යුතු දේ කරමු.’
මම රූකඩයක් සේ ඔවුන් පසුපස ගියෙමි.
සහකාර කළමනාකරු හමුවී කරුණු කියා ගිණුම අත්හිටුවන ලෙස දන්වන්නැයි ඔවුහු මගෙන් ඉල්ලූහ.
මම ඔවුන් ගේ කීමට බැංකු නිලධාරියා හමුවට යෑමට සූදානම් වුණෙමි. ‍
‘ඒක නෙමේ, අද වැටුප කීයක් තිබුණ ද?’
එක් සහෝදරියක් ඇසුවා ය.
‘දාහතර දාහක් තිබුණ’ මම කීමි.
‘ඔයාගෙ අවශ්‍යම කටයුතු කරගන්න මුදල් කොච්චර විතර යයි ද?’ ඇය යළිත් ඇසුවා ය.
‘ඔක්කොම වාගෙ යයි’ කියාගෙන මම බැංකු නිලධාරියා හමුවට ගියෙමි.
නිලධාරියට කරුණ කියා ගිණුම තාවකාලිකව අත්හිටවූ මා ආපසු එන විට ගුරු සොයුරියන් දෙදෙනා එතැන සිටියේ නැත. මම විපරම් කළෙමි. ඔවුන් මුදල් කවුන්ටරය අසල සිටිනවා මට පෙනිණ. මම ඔවුන් එන තුරු රැඳී සිටියෙමි.
ටිකකින් දෙදෙන මා අසලට ආහ.
‘මෙතන රුපියල් දෙ‍ෙළාස්දාහක් ඇති. මේක ගන්නකො. දැං අපි යං. මේක පරිස්සං කරගන්න’ ගුරු සොයුරියන් දහසේ නෝට්ටු මිටියක් මට දිගු කළා ය.
මම යළිත් ගල්වීමි.
‘මාත් අද කෝච්චියෙ එන්නං. දැං හිත සන්සුන් කර ගන්නකො. ගෙදරට ඇරලවන්නද?’ ඇය යළිත් ඇසුවා ය.
මට වචන නැති විය.
‘ඉතිං මේක දැන්වත් ගන්නකො’
මම නිහඬව ම මුදල ගතිමි. ආත්මය නිවී සැනහී ගියේ ය.
අපි බැංකු බිමෙන් මහ පාරට ආවෙමු.
අනිත් සොයුරිය ටිකකින් සමුගන්නට නැවතුණා ය.
‘එහෙනං ඔයාල කෝච්චියෙ යන්න. මට ඉතින් බස් එකේ යන්න එපායැ. මං නවතින්නං’
අපි ඇයට සමු දුනිමු.
‘ඕනෑකමක් වුණොත් කියන්න’ ඇය සමුගත්තේ මට එසේ පවසමිනි.
සැබෑ මිනිස් සුවඳ මට දැනිණ.
මම අනෙක් සොයුරිය ද සමඟ දුම්රියට ගොඩවීමි.
ඇගෙන් සමුගෙන දුම්රිය පොළෙන් බැස ගත් මා නිවෙස කරා පිය මනින්නට වූයේ තරමක කැලඹීමකිනි.
කෙළින්ම මගේ කාමරයට වැදුණ මම ඇඳුම් නොගලවාම ඇ‍ඳේ ඇලවීමි.
මට මා ගැනම ඇති වී තිබුණේ තරහ ද දුක ද මුසු වූ නොරුස්නා හැඟීමකි. ඇ‍ෙසන් ගලා ආ කඳුළු පිස දැමීමට හෝ මට වුවමනාවක් නොවීය.
කාගෙදෝ ඉක්මන් අඩි ශබ්දයක් ඇසිණ. ලොකු දූ කාමරයට ආවා ය.
‘ආ... තාත්ත ඇවිත්! ඇයි මේ ඇඳුම් පිටින්ම? ඕව ගලවන්නකෝ!’ ඇය පෙරැත්ත කරන්නට වූවා ය.
මම නිසොල්මන්ව සිටියෙමි.
ඇය පිටව ගියේ මවට කෑගසමිනි.
‘මොකද දන්නෑ. තාත්ත නැගිටින්නෙ නෑ. කරදරයක් ද? අමාරුවක් ද අම්මෙ? අර බලන්නකො! අනේ එන්නකො. මේ බලන්නකො’
ඇය මව ද ඇදගෙන යළි එනු දැනිණ.
‘අද පඩි දවසෙනෙ. සල්ලිවත් නැති කරගෙනද දන්නෙ නෑ’ බිරිය ගේ වචන ටක්කෙටම ගැසුවා සේ විය.
ලොකු දූ මගේ බෑගය හැර බැලුවා ය.
‘නෑ අම්මෙ. මේ සල්ලි තියෙන්නෙ. මොකද දන්නෑ කවදාවත් නැතුව මෙහෙම ඉන්නෙ?’
මම නිහඬව ම සිටියෙමි.
‘ඔහෙ ඉන්න දෙන්න. ටිකකින් නැඟිටින්නෙ නැතෑ’ කියමින් බිරිය දියණිය කැඳවාගෙන පැත්තකට වූවා ය.
මෙසේ අඩ පැයක් පමණ ගෙවී යන්නට ඇත.
යාබද නිවෙසක කාන්තාව අප නිවෙසට පැමිණ ආරංචියක් දෙනු ඇසුණෙන් මම විමසිලිමත් වීමි.
‘අපේ දුවගෙන් පණිවිඩයක් ආව. ඒක කියන්නයි මං මේ දුවගෙන ආවෙ’ ඇය කීවේ අප නිවැසියන්ගේ කුතුහලය අවුස්සමිනි.
ඇගේ දියණිය ගේ වෙළෙඳ සල පිහිටා ඇත්තේ නගරයේ ය.
වෙළඳ සල ඉදිරිපිට පාරේ පර්ස් එකක් වැටී වැස්සට තෙමෙමින් තිබූ බවත් එය හැර බැලූ විට ගමේ ලිපිනයක් තිබූ බවත්, ඒ නිසා ඒ ගැන සොයා බලන්නට තමාට කතා කළ බවත් ඇය කියා සිටියා ය.
දැන් ඉතින් සඟවන්නට දෙයක් නැති. සියල්ල හෙළි කළ යුතුව තිබේ.
‘අනේ තාත්තෙ නැගිටින්නකෝ. අර ආච්චි කියන දේ අහන්නකෝ’ යි කෑගාමින් දරුවෝ මා නැගිටූහ.
මම ඉස්තෝප්පුවට පැමිණ අමුත්තිය හා කතා කළෙමි. ඇය කී කාරණ අනුව එය මගේ ම මුදල් පසුම්බිය ය.
මුදල් පිටින්ම පර්ස් එක නැති වූ බව මම ම‍ෙග් කටින් ම හෙළි කළෙමි.
පර්ස් එක මවෙත ලැබෙන්නට සලස්වන බව කියමින් අමුත්තිය පිටව ගියා ය.
‘එහෙනං තාත්තෙ මේ සල්ලි තියෙන්නෙ?’ දරුවන්ගේ ඊළඟ ප්‍රශ්නයට පිළිතුරු දීම මග හැරිය නොහැකි විය.

මම අර ගුරු සොයුරියන් මට පිහිට වූ ආකාරය කීමි.
එදිනම පර්ස් එක ද මවෙත ලැබිණ. එහෙත් එහි මුදල් නම් නොවී ය.
පසු දින පාසලට යන විට මගේ මුදල් නැති වූ පුවත එහි පැතිරී ගොස් තිබිණ.
දෙදිනකට පසු මගේ ගුරු සහෝදර සහෝදරියන් කිහිප දෙනකු අප නිවෙසට ගොඩ වූයේ යම් යම් බඩු මුට්ටු ද රැගෙන ය. ඔවුන් මගෙන් සමුගත්තේ සිද්ධිය ගැන කනගාටුව පළ කර පමණක් නොව මා වෙත කිසියම් මුදලක් ද තබමිනි.
කාලය ගෙවී ගියේ ය.
මගේ ගුරු සොහොයුරු සොහොයුරියන්ගේ පිහිටෙන් ඒ දුෂ්කර මාසය මම ගෙවා දැමීමි.
මා ඉදිරියේ පැවති අභියෝගය වූයේ අර ගුරු සොයුරිය දුන් මුදල ඉක්මනින් පියවන්නේ කෙසේ ද යන්න ය.

මම මේ ගැටලුව මගේ අංශ භාර ගුරුතුමියට කීමි.
‘කලබල වෙන්න එපා! ඒක හෙමින් කරමු. එයා අමනාප වෙන්නෙ නෑ’ ඇය මා අස්වැසුවා ය.
කෙසේ වුවද මාස හයක් පමණ ගත වූ විට අර මුදලින් අඩක් එකතු කර ගත් මම මට මුදල් දුන් ගුරු සොයුරිය සොයා ගියෙමි.
‘මගෙ පමාව ගැන සමාවෙන්න. මෙතන බාගයක් තියනව. ඉතුරු එක මම ඉක්මනින් දෙනව’ මම එසේ කියමින් මුදල ඇයට දිගු කළෙමි.
‘අනේ කමක් නෑ. මං ඕක ගන්නෙ නෑ’ ඇය කීවා ය.
මම බලවත්සේ පසුතැවිල්ලට පත් වීමි. ඇය නෝක්කාඩුවක් කීවාවත් ද?
මම යළි යළිත් පෙරැත්ත කළෙමි. එහෙත් ඈ නොවේ, එය බාර ගත්තේ.
මගේ හිතට මහා බරක් ආයේ ය. මට අංශ භාර ගුරුතුමිය සිහිපත් විය. මම ඇය සොයා ගියෙමි.
‘එයා ඔහොම තමා. කාටවත් ඔය ගැන කියන්න එපා! එයා ඔයාගෙන් ඔය මුදල ගන්නෙ නෑ.’ ඇය කීවා ය.

මට දැනුණේ මහා පුදුමයකි.
එතැන් පටන් මා සිතන්නට වූයේ ඇයට ප්‍රත්‍යෝපකාරයක් කරන්නේ කෙසේද යන්න ගැන ය.
සිංහල අලුත් අවුරුද්ද ළඟා විය.
‍'අපි අවුරුද්දට හොඳ රසකැවිලි පෙට්ටියකුත් හදාගෙන අර ටීචරලගෙ ගෙදර යමු ද?’
මම බිරියට යෝජනා කළෙමි. ඇය ද ඒ යුතුකම ඉටු කරන්නට ඉදිරිපත් වූවා ය.
යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර නැවතත් මම අංශ භාර ගුරුතුමිය මුණ ගැසී ඒ ගැන කීමි. උත්තරයක් දීමට ඇය කල් ගත්තා ය. පමා වී හෝ ලැබුණේ මෙබඳු උත්තරයකි.
‘එයා මේ වගේ උදවු කරන්නෙ ගෙදර අයට ‍රහසෙ. ඔයාල ඔය විදිහට එයාගෙ ගෙදර ගියොත් එයාට සිද්ධ වෙනව ගෙදර අයට කාරණාව පැහැදිලි කරල දෙන්ඩ. ඒ හින්ද ඒක කරන්න එපා!’
මෙබඳු පරිත්‍යාගශීලී උතුම් කාන්තාවක් මගේ ජීවිත කාලයේදීම මට හමුවී නැත.
මේ සිදුවීමෙන් පසු වසර කිහිපයක් ම මම ඇය සමඟ එක ම ආචාර්ය මණ්ඩලයේ සේවාව කළෙමි. ඇය මට කළ උදවුව රහසක් සේ ම රැක්කා ය.

පාසලෙන් සිදු වූ මදිපුංචිකමක් නිසා ඇති වූ කලකිරීමෙන් මම පසු කාලයේ දී විශ්‍රාම ගතිමි. මගේ එක් අපේක්ෂාවක් වූයේ විශ්‍රාම යන අවස්ථාවේදී සිසුන් අමතා කතා කරන මුවාවෙන් ඇයට වක්‍රව මගේ හෘදයාංගම ස්තුතිය පළ කිරීමට ය. එහෙත් ඒ අවස්ථාව ද මට අහිමි විය.
කෙසේ වුව ද මගේ දිවියෙහි දී මා පසක් කොට ගත් කාරණා දෙකක් ඇත. එකක් නම් මේ ගුරුතුමිය දෙවඟනක නොව බෝධිසත්වවරියක බව ය. දෙවැන්න මගේ දියණියට කිසියම් අවශ්‍යතාවක් වූ මොහොතක එය කුමනාකාරයෙන් හෝ ඉටු කර දීමට මට හැකියාව ලැබුණු බව ය. එහෙත් තවම එක දෙයක් මට පැහැදිලි නැත. ඒ, එදා මගේ පර්ස් එක ගැට කපන්නකුට අසු වූවා ද නොඑසේ නම් මා අතින් ම වැටුණ ද යන්න ය.
බෝසත් ගුරුතුමියනි ඔබට සිතන - පතන බෝසත්කමට පත්වීමට වාසනාව ලැබේවා!
බඩල්ගම, එස්.ඩබ්ලිව්. දුනුසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz